රණසිංහ ප්‍රේමදාස, පාතාලය හා ආර්. පණ්ඩුකාභය
‘ප්‍රේමදාස වගේම විජේදාසත් මේ රටේ කුල පීඩීතයන්ට බලය ලැබීම අනතුරුදායක බව පෙන්නුම් කරනව. අපිට මේ දාසයන් මිස අම්බෙක්කාර්ලා නොලැබුණේ ඇයි?’
යන මගේ ප්‍රශ්න කිරීමට බරපතල විවේචන ලැබෙමින් තියෙනව. මම මේ වර්ගයේ විවේචනයන් හොඳට හුරුයි. එය පටන් ගත්තේ 1992 දී. මම ‘භීෂනයෙන් අතුරුදහන් වූ කුල පීඩිතයෝ’ යනුවෙන් ලංකාවේ සිංහල සමූල ඝාතන ගම්මාන ගැන ‘රාවය’ ට ලියන්න පටන් ගත්තු ගමන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මට විරුද්ධව සටනක් පටන් ගත්ත. පස්සේ කතෘ මණ්ඩලය උපදෙස් දුන්න ඒ ටෑගය ගලවන්න.
මම මේ දිනවල හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ නිල නොවන ඉතිහාසය සොයමින් ලියමින් ඉන්නේ. ඒ අස්සෙයි විජේදාස කතාව මතු වූණේ. එවිට මට 1980 දශකයේ අග සයිමන් නවගත්තේගම ප්‍රේමදාස වෙනුවෙන් කළ නාට්‍යක් මතක් වුණා.
‘පණ්ඩුකාභය’
මේ නාට්‍යයට විචාරයක් ‘ඇත්ත’ට ලියූ සිරිලාල් කොඩිකාර එය ‘ආර්. පණ්ඩුකාභය’ නමින් බෞතීස්ම කළා. මගේ විශ්වාසයත් ලාල්ගේ විශ්වාසයට සමානයි. පණ්ඩුකාභය වෙන්න පැතූ කෙනෙක් ‘යසලාලක තිස්ස’ ට රඟපානට සිදු වූයේ මන්ද? මම මගෙන් විමසන ප්රශ්නය එයයි.
ජනාධිපති ප්‍රේමදාසගේ අකල් මරණය පිටුපස වගේම ඔහුගේ පාලනය තුල ඝාතනය වූ ඔහුගේම සගයන් වූ දේශපාලන නායකයන් [රන්ජන් විජේරත්න හා ලලිත් ඇතුලත්මුදලි වැනි චරිත] ගේ මරණ අස්සේ ඔහු ඇසුරු කළ පාතාලය පෙනෙන්නට තියෙනව. උදාහරණයකට 1991 දී ගාමිණි දිසානායක එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එලවා ඒ වෙනුවට ප්‍රේමදාස ගෙන්නේ රටේ පාතාල නායකයෙකු වූ සොත්ති උපාලි...!
ප්‍රේමදාස, තමාගේ පාතාල කල්ලියට පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය ලවා අවි පුහුණුව දී එම නිල ඇදුම් ද, පොලිස් උප සේවයේ හැදිනුම්පත් ද දුන් බවට එම බලකායෙන්ම ලැබුණු සාක්කි තිබේ.
දේශපාලකයන්ට අපරාධකරුවන්ගේ උපකාරය වුවමනාය. එහෙත් ඔවුහු පාතාලය රෙද්ද අස්සේ දා ගන්නේ නැත. එසේ දමා ගන්නවානම් එය ඔහුගේ ළමා වියේ ප්‍රශ්නයක් මිස අනෙකක් නොවේ.
අපිට අනගාරික ධර්මපාල හෝ රණසිංහ ප්‍රේමදාස වෙනුවට අම්බෙක්කාර් කෙනෙක් නොලැබීම ගැන මට ඇත්තේ බරපතල කම්පාවකි. එසේ වූවා නම් අපට ජීවත්වන්නට සිදු වන්නේ මෙබදු රටක නොවේ. ප්‍රේමදාස රටේ නායකයා හැටියට වසර 4 කට අධික කාලයක් කළ කී දේ දෙස බලන විට රටක රාජ්‍ය නායකයෙකුට යහපත් ළමාවියක් තිබීමේ වැදගත් කම තහවුරුවේ. පාසල් ගුරුවරියන් දණ ගැස්සවූ චාමරයන් පාර්ලිමේන්තුව ඇතුලේ සැලී වෙලී බැබලෙද්දී මට අපේ රටේ අනාගතය ගැන බියක් දැනෙයි. ඒ නිසා අනාගතයේ පීඩිතයන් යළි රාජ්‍ය නායකයන් වීමේ අනතුරට මම බියවෙමි.
නන්දන වීරරත්න
27/06/2
6



ඔබ යෝජනා කරන මතය -හරිහැටි- වටහා ගන්නට පෙර ලියූ comment එකක් ඉවත් කර දැමුවෙමි.
ඔබ සටහන් කරන සිතුවිලි වලට, (ඔබේ වචන වලින්ම කීවොත්) 'චාර' දැක්වුවද ඔබ ඒවාට ප්‍රතිචාර නොදක්වන බව පසු ගිය දිනක සඳහන් කර තිබුනත්, ඔබේ මේ සටහනේ වැදගත්ම කරුණ ගැන වරදවා වටහා ගෙන දැක්වූ අදහසක් මෙතැන තව දුරටත් තිබීම නුසුදුසු යයි සිතුනෙන්, එසේ කලෙමි. ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි.
එය කෙසේ වෙතත්, ඔබ ගේ සටහනේ හරය මට තේරෙන තරමින් පමා වී හෝ වටහා ගත් පසුව වුවද,
"ප්‍රේමදාස වගේම විජේදාසත් මේ රටේ කුල පීඩීතයන්ට බලය ලැබීම අනතුරුදායක බව පෙන්නුම් කරනව. අපිට මේ දාසයන් මිස අම්බෙක්කාර්ලා නොලැබුණේ ඇයි?" යන ඔබේ මුල් ප්‍රකාශය කියවන විට සිතට දැනෙන ගැඹුරු නොසන්සුන් බව සහ අප්‍රසන්න හැඟීමේ නම් වෙනසක් නැත.
ඒ අප්‍රසන්න බව දැනෙන්නේ පහත හේතුව නිසාය. ආර්. පණ්ඩුකාභය හෝ ඩීල්දාස විසින් මැරයන් සමග ඇතිකර ගත් සබඳතාවයන් ද, මුල් සඳහන් පුද්ගලයාගේ අනේකවිද උන්මත්තක ක්‍රියාවන්ද ගැන සිතන විට -පමනක් නොව- ආචාර්ය Ambedkar වැනි සැබෑ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ගේ ඒ උතුම් මානුෂීය ගති සහ ඔහු සිය රටට සහ එයින් ඔබ්බට විහිදෙන සේ මිනිස් වර්ගයා වෙනුවෙන් කල සේවයන් අගයන විටත්, ඒ ඒ පුද්ගලයන් අයත් වූ "කුලය" වැනි සාධකයක් ගැන විශේෂයෙන් හිතන්නට පෙළඹෙන්නේ ඇයි දැයි මට නොතේරෙන බැවිනි.
අපේ රටේ මෙන්ම ඉන්දියාවේත් "කුලය" නම් වූ කෘත්‍රිම නිර්ණායකය නිසා පීඩාවට පත් වන ජන කොටස් සිටින බව අප හැම පිලි ගත යුතු වේ.
එහෙත්, ඒ කුලය යන සාධකයද, ජාතිය ආගම ඉපදුන පලාත වැනි තවත් සාධක සේම මිනිස් ප්‍රජාව බෙදා වෙන් කරන්නට උපයෝගී කර ගන්නා මෙවලම් බැවින්, කිසියම් පුද්ගලයෙකුගේ හැසිරීම් හෝ දිනීම් හෝ වෙන ඕනෑම කරුනක් විග්‍රහ කරන විට ඔහු/ඇය මනුෂ්‍ය ප්‍රජාවට අයිති අයෙක් යන කරුන පමනක් සිහියේ තබා ගෙන, ඒ විමසීමට ලක් කරන කරුන ගැන විග්‍රහ කිරීම වඩාත් මානුෂීය ක්‍රමයක් යයි මා පුද්ගලිකව සිතමි.
මගේ සිතුවිල්ල හරිද වැරදිද කියා මම නොදනිමි.
නමුත්, යම් කෙනෙකුගේ වරදක් දෙස බලන විට, ඒ අය ඒ වරද කලේ ඒ අය කිසියම් කාලයක කුල පීඩනය ට ලක්ව සිටි නිසා යයි කීමත්, සම්ප්‍රදායිකව එසේ සැලකෙන කුලයක හෝ තමන්ට වඩා වෙනස් වූ ජාතියක/ආගමක අයෙක් යම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කල විට "එයා -එහෙම වෙලත්- මේ තරම් හොඳ වැඩක් කලා!" යයි කීමත්...එක හා සමාන නොසුදුසු දෙයකැයි මට සිතේ.
එම ලේබල් උකහා දැක්වීමෙන් සමාජය තුල මුල් බැසගෙන ඇති ඒ පීඩිත ජන කොටස් පිලිබඳ වූ දුර්මත තවත් ශක්තිමත් නොවන්නේද? අප කල යුතු වන්නේ මේ බෙදීම් වලට තුඩු දෙන සංකල්ප පුන පුනා කීම නොව ඒවා අභිබවා යෑම නොවේද?
මේ සියලු කෘත්‍රිම ලේබල් මතක් කරන්නේ නැතිව, ඒ වරද හෝ ශ්‍රේෂ්ඨ ක්‍රියාව දෙස මෙලොව වසන සියලුම Homo sapiens sapiens විශේෂයට අයත් සත්ව කොට්ඨාශය හඳුන්වන සාමාන්‍ය නම වූ -මිනිස් බව- යන ලේබලය පමනක් මුල් කර ගෙන බලන්නට අප සැමට හැකිනම්...
හොඳ නරක, ආත්මාර්ථය, පරාර්ථය, නිර්මල බව දූෂිත බව, වංක බව අවංක බව මේ ආදී විවිධ ලක්ෂණ හැම එකක්ම පෙන්වන්නට මිනිසත් බව ලැබූ -හැම කෙනෙක්ටම- විභවයක් ඇතැයි සිතන්නට හැකිනම්..
එවිට, විජේදාස සහ ප්‍රේමදාස විසින් සිදු කල සමාජ වැරදි සහ ඔවුන්ගේ නොසුදුසු ගණුදෙණු යනාදී සියල්ල යනු ධනය සහ බලයට ගිජු වීම නම් වූ නොමනා, සෘණාත්මක -මිනිස් ගතිය- ඉස්මතු වූ අවස්ථා ලෙසටත්, ආචාර්ය Ambedkar වැනි මානව හිතවාදී දේශපාලකයෙක් ගේ යහපත් ක්‍රියා යනු බාධක මැඩ ගෙන සිය උතුම් අරමුණු සාක්ෂාත් කර ගන්නට මිනිස් සිතේ ඇති ශක්තිය සහ ධෛර්යය මල් ඵල ගැන්වුව ධනාත්මක -මිනිස් ගති- පෙන්නුම් කල අවස්ථාවන් ලෙසටත් අපට පෙනෙනු ඇත.
අවම වශයෙන්, මම එසේ සිතන්නට කැමැත්තෙමි.
👍