අගමැති ප්‍රේමදාස හා “විජයගේ සැබෑ ඝාතකයා කවුද?” පොත
පසුගිය සියවසේ 70 හා 80 දශකවල ජනප්‍රිය නළුවෙකු වූ විජය කුමාරතුංග දේශපාල අත්පොත තැබුවේ සමසමාජ ව්‍යාපාරයෙනි. 1974 වන තෙක්ම සමසමාජ ක්‍රියාකාරිකයෙකු වූ විජය පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැදුණේය. ඔහුගේ මේ දේශපාලන ගමනේ මුල්ම මැතිවරණ තරගය එන්නේ 1977 මහා මැතිවරණයේ දී කටාන අසුනට ශ්‍රීලනීපයෙන් ඉදිරිපත් වීමෙනි. එහෙත් කොතෙක් ජනප්‍රිය නළුවෙක් වී සිටියත් ඔහු කටාන ආසනයෙන් පරාජය විය. එහෙත් ඔහු 1978 පෙබරවාරිය වෙද්දී පාරම්පරිකවම ශ්‍රීලනිප නායකයන් වූ බණ්ඩාරනායක - රත්වත්තේ පවුලෙන් විවාහයක් කර ගැනීමට සමත් විය. ඒ එම පවුලේ දෙවැනි දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ විවාහ වීමෙන් ය.
1977 අන්ත පරාජයකට මුහුණ දී සිටි ශ්රීලනීපයට යළි ජනයා අද්දන හා පාක්ෂිකයන් පුබුදු කරණ නව නායකයා වූයේ විජය කුමාරතුංග ය. මේ නිසා ශ්රීලනීපයේ උප සභාපති පදවිය විජයට හිමි විය. 1982 ජනාධිපතිවරණයට ශ්‍රීලනීපයෙන් තරග වැදුනේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු හා බණ්ඩාරණායක - රත්වත්තේ පවුලේ විශ්වාසවන්ත ඥාතියෙකු වූ හෙක්ටර් කොබ්බෑකඩුවය. එයට හේතු වුයේ ශ්‍රීලනීප නායිකාව වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිවාසිකම් වසර 7කට අත්හිටුවා තිබීමය. මේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ජනප්‍රිය කථිකයා මෙන්ම නිල නොවන නායකයා වූයේත් විජය කුමාරතුංග මය. එහෙත් බණ්ඩාරනායක - රත්වත්තේ පවුලේ නියම දේශපාලන උරුමක්කාරයා වූ අනුර බණ්ඩාරනායක විජයගේ ජනප්‍රියතාවයට පමණක් නොව ස්වකීය නැඟෙණිය වූ චන්ද්‍රිකා [ බණ්ඩාරනායක - කුමාරතුංග, හිටපු ජනාධිපතිවරිය] පිටස්තර කුලයකින් විවාහවීම නිසාද බලවත් කෝපයකින් හා වෛරයකින් සිටියේය. එක් අතකින් කටානේ දිළිදු පවුලකින් පැවතුණු විජය ‘දුරාවේ වංශය’ ට අයත් වීම අනුරගේ බලවත් විරෝධයට හේතුවක් වී තිබුණේය. මේ නිසා අනුර 1982 ජනමත විචාරණයට පෙර ශ්‍රීලනීප නායකයන් සමූහයක් සමඟ එජාපයට එකතු විය.
විජය ‘රිදී තිරයේ’ තබා ගෙන සිටි ජනප්‍රියතාවය දේශපාලනයට ගෙන ඒම ගැන බොහෝ උන්නතිකාමී දේශපාලකයන් බලා සිටියේ බලවත් බලවත් විමතියකිනි. ඒ වන විට තමිල්නාඩුවේ මහ ඇමතිකම දරමින් සිටියේ ප්‍රකට දකුණු ඉංදීය නළුවෙකු වූ ලංකාවේ මහනුවර උපන් කේරළ වැසියෙකු වූ එම්. ජි. ආර්. හෙවත් එමි. ගී. රාමචන්ද්‍රන් ය. මෙය ලංකාවේ දේශපාලනයට කාංදු වීමෙන් වලක්වා ගැනීමට එවකට මහළු ජනාධිපති, ජේ. ආර්. ජයවර්ධන පමනක් නොව ඔහුගේ මැදිවියේ සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස ට ද අවශ්‍ය විය. මේ නිසා 1982 ජනාධිපතිවරණය අවසන් වූ වහාම ජයග්‍රාහී ජයවර්ධන ජනාධිපතිවරණය අවසන් වූ වහාම ‘රටේ පාලනය නීති විරෝධි ආකාරයෙන් පෙරලා දැමිමට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනිමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව නිවේදනය කළේය. . ඔවුහු ඉංදියාවේ ක්‍රියාත්මක වෙන ගරිල්ලා ව්‍යාපාරයක් වන ‘නැක්ස්ලයිට්වරුන්’ ට සමාන කණ්ඩායමක්ය බව ඔහු චොදනා කළේය. මේ “කුමන්ත්රණයේ” සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන යාමට ජනාධිපති පොරොන්දු විය. ඒ අනුව 1982 ඔක්තෝඹර් 20 වෙනිදා විශේෂ හමුදා කණ්ඩායමක් යොදවා විජය කුමාරතුංග අත් අඩංගවට ගත්තේය. ඒත් සමඟම රත්නසිරි වික්‍රමනායක [ පසු කලෙක අගමැති] ඔසී අබේගුණසේකර, ෆිලික්ස් පෙරේරා හා මර්වින් සේනාරත්න ඇතුළු විජයගේ අනුගාමිකයෝ සිය ගණනක් හමුදා හා පොලිස් අත් අඩංගුවට පත්වූහ. මාස ගණනාවකට පසු කිසීම නඩු විභාගයක් නොපවත්වා ඔවුන් නිදහස් කෙරුණේය.
1983 මැයි 18 වෙනිදා රටේ ආසන 18ක අතුරු මැතිවරණ පැවැත්වීමට තීන්දු කෙරුණේය. එයට හේතු වූයේ 1992 දෙසැම්බරයේ චන්ද කල්දැමීම වෙනුවෙන් පැවති ජන මතවිචාරණයේදී මෙම ආසන 18න් පාලක එක්සත් ජාතික පක්ෂය පරාජය වීමය. මෙයින් එක් චන්ද කොට්ඨාශයක් වූයේ ගම්පහ දිසාවේ මහර චන්ද කොට්ඨාශයයි. 1977 මහා මැතිවරණයෙන් ජයගත් ටියුඩර් ගුණසේකර වෙනුවට එජාප නායක ජේ.ආර්. නව අපේක්ෂකයෙක් මහරට නම් කළේය. ඔහු කමළවර්ණ ජයකොඩි නම් පලාතේ බලවත් පවුලක සමාජිකයෙකි. ඔහු පරාජය කිරීමට රටේ දෙවැනි විශාලතම පක්ෂය වූ ශ්‍රිලනිපය නම් කළේ ජනප්‍රිය නළු විජය කුමාරතුංගය. ජේ.ආර්. ජයවර්ධනට විජය කුමාරතුංගගේ දේශපලන ගමන නතර කිරීමට වුවමණා විය. මේ නිසා විජය පාර්ලිමේන්තු ඒම කවර වෙහෙසක් දරා හෝ නතර කිරීමට ජේ. ආර්. තීරණය කළේය.
මැතිවරණය පැවැත්වෙන දිනයේ [18 දා] මහර ආසනය පුරා එජාප මැරයෝ බලය පතුරුවමින් සිටියහ. මෙන් දිස්වුණේ ය. ශ්රීලනීපයට වාසිදායක ගම්වලට අයිති ඡන්ද මධ්‍යස්ථානවලට කඩාවැදුණේ ය. ඡන්ද පෙට්ටි පෙරළා දැමුවේ ය. ඡන්ද දැමීමට පැමිණි කැපී පෙනෙන ශ්‍රීලනිප අධාරකරුවන් එළෙවේ ය. ඔවුන්ගේඡන්ද කාර්යාල ගිනි තැබුවේ ය. වෙඩි තබා මරා දැමුණේ ය. අපේක්ෂක විජය තම සමීප ආධාරකරුවන් සමග භීතියට පත් ඡන්දදායකයන්ට දිරි දෙමින් කීනිගම බුලත්පිටිය ප්‍රදේශයේ සංචාරය කළේය. හදිස්සියේම වාගේ එතැනට වාහන පිරිවරාගෙන ආයුධ සන්නද්ධව එජාපයේ ප්‍රධානම මැර නායකයා වූ ගෝනවල සුනිල් පැමිණියේ ය. සාමකාමී මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක නියුතු වී සිටි විජය ඔවුන් නොතකා ගමනේ යෙදුණේ ය. එක් මැරයෙක්
හරියටම විජය ඉලක්කකර ටී 56 ප්‍රහාරක රයිෆලයකින් වෙඩි තැබුවේ ය. මැරයා තැබූ තවෙඩි පහරවල් වැදුණේ විජය අසලින් ම ඔහුගේ ආරක්ෂාවට ගමන්ගත් නිමල් ප්‍රේමසිරි ට ය. ප්‍රේමසිරිට
එතැනදීම මිය ගොස් සිටියේය.
පසුදා එනම් මැයි 19 වෙනිදා මරාදැමූ නිමල් ප්‍රේමසිරිගේ මරණ පරීක්ෂණය ගම්පහ මහ රෝහලේ පැවැත්වීමට නියමිත විය. එහි ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා වූයේ විජය කුමාරතුංග හා පසු කලෙක ඇමතිවරයෙකු වූ නිමල්සිරි ජයසිංහ ය. එහෙත් චන්ද 45කින් කමලවර්ණ ජයකොඩිට පරාජය වී සිටි විජය කුමාරතුංග ඇමතු ජනාධිපති ලේකම් කාර්යාලය ජයවර්ධන ජනාධිපතිට 19 වෙනිදා දහවලේ ඔහු හමුවීමට අවශ්‍ය බව කියා සිටියේය. ඒ මරා දැමු සගයාගේ මරණ පරීක්ෂණයේ සාක්කිදිම නවතා විජය ජනාධිපති මන්දිරයට ගියේය.
මැරයන් යොදවා චන්දය මෙහෙය වූ ජයවර්ධන, පලමු වටයේ දී චන්ද 249 කි ජයගෙන සිටි විජය කුමාරතුංග පරාද වෙන තුරු චන්ද ගණන් කිරීමට උපදෙස් දුන් ජයවර්ධන, ගම්පහ කච්චේරියේ විදුලිය විසංධි කර විදුලි උත්පාදක යන්ත්‍රය[ ජෙනරේටරය] අක්‍රීය කිරීමට උපදෙස් දුන් ජයවර්ධන හොර උපාසකයෙකු මෙන් විජයගෙන් මහර මැතිවරණයේ දී සිදු දුෂණ හා අපරාධ ගැන විස්ට්හර විමසා එය ලිඛිත පැමිණිල්ලක් ලෙස තමාට ඉතිරිපත් කරණ ලෙස උපදෙස් දුන්නේය...!
ජයවර්ධන ගිය රාජකීය විද්‍යාලයේම උගත් අනුර බණ්ඩාරනායක දේශපාලනය තුල තහවුරු කිරීමට සමහරවිට මේවා සිදුවන්නට ඇත. මේ නිසාම විජය 1984 ජනවාරියේ ශ්‍රීලනීපයෙන් ඉවත් වී ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භ කළේය. 1984 මින්නේරිය අතුරු මැතිවරණයට තරග වැදුනේය. එහෙත් එයින් පරාජය විය. එසේ වූයේ එජාපය සියළු බර දමා විජය පැරැද්දීම නිසා පමණක් නොවේ. ශ්‍රීලනීපය ද අපේක්ෂකයෙකු විජයට විරුද්ධව දැමීම නිසාය. ඔහුට විරුද්ධව මින්නේරියේ දේශපාලන වේදිකා දෙනත් කළේ මස්සිනා වූ අනුර ය. එහෙත් විජය දෙවෙනි තැන ලබුවේය.
විජය කොළඹ ඉංදියානු තානාපති කාර්යාලයේ බලවත් මිතුරෙකු විය. ඔහු 1986 දී චන්ද්‍රිකා සමඟ යාපනයට ගොස් කිට්ටු හා රහීම් වැනි කොටි නායකයන් හමුවුණේය. බලවත් ඉංදියානු ඉංදියනු විරෝධියෙකු වූ අගමැති ප්‍රේමදාස මේ නිසා ඔහු සමඟ අමනාපයෙන් සිටින්නට ඇත. විජය ‘ඉංදු- ලංකා ගිවිසුම් ප්‍රකාරව පැමිණි පළාත් සභා ක්‍රමයට බලවත් සහයෝගයක් දුන්නේය.
විජය වෙඩි තබා ඝාතනය කිරීමට පෙර එනම් 1988 ජනවාරියේ, නව සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ සමඟ ස්වකීය පක්ෂද එකතු කර ‘එක්සත් සමාජවාදී පෙරමුණ’ නමින් නව පෙරමුණක් තැනිමට සුදානම් වෙමින් සිටියේය.
1988 පෙබරවාරි 16 වෙනිදා විජය වෙඩිතබා ඝාතනය කෙරුණේය. ඊට සතියකට පසු මරදානේ දයාවංශ ජයකොඩි පොත් සමාගමේ හිමිකාර දයාවංශ ජයකොඩි ඇමෙරිකා එක්සත් ජනපදයේ කලිෆෝනියා ප්‍රාන්තයේ සිට එහි එවකට කළමණාකරු වූ දැන් සුරිය ප්‍රකාශණ සමාගමේ හිමිකරු අතුල ජයකොඩි ඇමතුවේය. අගමැති ප්‍රේමදාසට පොතක් මුද්‍රණය කර බෙදාහැරීමට අවශ්‍ය බව දයාවංශ අතුලට කීවේය. ‘මුද්‍රණයට ඇති පොත් එවන්නැයි’ අතුල දයාවංශට කීවේය. පසුදාම අගමැති ප්‍රේමදාසගේ කෙහෙල්වත්තේ සුචරිතයේ පිහිටි පුත්ගලික නිවසේ සිට පැමිණි පණිවිඩකරුවෙකු අත පොත් පැමිණියේය. අතුලම මේ ලේඛකයාට පුත්ගලිකවම පැවසූ ආකාරයට ඔහු පොත් මුද්‍රණයට පෙර පුත්ගලිකවම කියවා බලන්නේය. . අතුල පොත කියවා බැළුවේය. ‘විජයගේ සෑබෑ ඝාතකයා කවුද?’ නමින් විජය කුමාරතුංගගේ ඝාතනය වෙනුවෙන් ලියැවුණු පොතකි. පොතේ රචකයා අප්‍රකට ලේඛකයෙකි.
එහෙත් මේ පොතෙන් විජය කුමාරතුංග ඝාතනයේ මෙහෙයුම ඔහුගේ මස්සිනා වූ අනුර බණ්ඩාරනායකගේ ගිණුමට බැර කෙරුණේය. අනුර මේ ඝාතනය මෙහෙය වූයේ විජය ‘දුරාව කුලයට’ අයත් වීමත්, ඔහු බණ්ඩාරනායක පවුලේ දේශපාලන උරුමය උදුරා ගැනීමට උත්සාහ කිරීම බවත් රසට විස්තර කර තිබුණේය. විජයට කුල අවමන් කිරීමට අමතරව එහි ඔහුගේ ස්ත්‍රී ලෝලිත්වය ගැන සම්පූර්ණ වාර්තාවක් එහි විය. එමෙන්ම විජය දිළිදු පවුලකින් පැවතීම නිසා කුරුදුවත්තේ රොස්මීඩ් මැදුරේ පමණක් නොව හොරගොල්ල වලව්වේ දීද වලව්කාරයෙකු හැටියට ජීවත්වීම නොදනීම, සිදුවීම් සමඟම ලියා තිබුණේය.
පොත කියවා බැලූ ඇතුල එය දයාවංශ ජයකොඩි සමාගමෙන් බෙදාහැරීමට තබා මුද්‍රණය කිරීමටත් නොහැකි බව සමාගමේ හිමිකරුට කීවේය. මේ තීරණය කියා හැරෙන තැපෑලෙන් අතුලට අගමැති ප්‍රේමදාස සුචරිතයට පැමිණි හමුවීමට පණිවිඩයක් ලැබුණේය. ඒ අනුව පසුදා උදෑසන අතුල අගමැති හමුවිය. අගමැති තමා එවූ, ‘විජයගේ සෑබෑ ඝාතකයා කවුද?’ මුද්‍රණය නොකරන්නේ මන්දැයි අතුලගෙන් විමසුවේය. අතුලගේ පිළිතුර වූයේ ‘එය දයාවංශ ජයකොඩි බදු පොත් සමාගමකට කළ නොහැකි වැඩක්’ බවය. අගමැති ප්‍රේමදාස අතුලගේ ප්රතික්ෂේපය පිළිගත්තේය.
එහෙත් ඊට මාසයකට පමන පසු ‘විජයගේ සෑබෑ ඝාතකයා කවුද?’ පොත් මුද්‍රණය කෙරුණි.
එහි රචකයා ‘ඇත්ත’ පුවත්පතේ කලක් සේවය කළ සුරත් අම්බන්ගොඩ බවට මම සැක කරමි. සුරත් මේවන විට ප්‍රේමදාස සරණ ගොස් ලේක් හවුසියේ පත්තර රස්සාව කරමින් සිටියේ ය. ප්‍රේමදාස ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය බර දමා සිටි නිසා පොත් හරියාකාරව බෙදා නොහැරුණේය. මේ නිසා පොත් දේශපාලන සාහිත්‍යයට හරියාකාරවම එකතු නොවුණේය.
නන්දන වීරරත්න
[පුතාණෝගේ පියාණෝ - මේ කවුද මොනවද කළේ? මුද්‍රණය නොවූ පොතෙන් උපුටා ගැණුණි]