මේ කවුද මොනවද කළේ ..?
1989 දී නාට්‍යකරුවන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ කතාවය
ලෝක ඉතිහාසයේ නාට්‍යකරුවන් ඟාතනය කළ අවස්ථා දෙකකි. ඉන් පළමුවැන්න 1936 දී ෆෙඩ්රිකො ගාසියා ලෝකා ඝාතනයි. දෙවැන්න 1990 පෙබරවාරියේ දී සිචඩ් සොයිසා හා ලක්ෂ්මන් පෙරේරා ඝාතනයන් ය. එම නාට්‍ය ...
මේ කවුද මොනවද කරන්නේ…? [නාට්‍ය - 1989]
1989 දී නාට්‍යකරුවන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ කතාවය
එච්. ලක්ෂ්මන් පෙරේරා යනු දිගු කලක පටන් දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ, කව්ඩාන කොට්ටාශයේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයා ය. අගලවත්ත ආසනයේ දේශපාලනය කරමින් සිටි ලලිත් ඇතුලත්මුදලි එජාපයේ රත්මලාන ආසනයේ සංවිධායකයා හැටියට පත් කෙරුණි. ලක්ෂ්මන් පෙරේරා ඇතුලත්මුදලිගේ අනුගාමිකයෙකු වන්නේ මේ පත් කිරීමත් සමඟ ය. නාගරික දේශපාලනයට අමතරව ලක්ෂ්මන් නාට්‍ය නිෂ්පාදකයකු ද විය. රටේ ප්‍රධාන ධහරාවේ නාට්‍යකරුවෙකු නොවුණත් ඔහු ඉඳ හිට නාට්‍යයක් නිෂ්පාදනය කර වේදිකා ගත කළේය.
‘මේ කවුද මොනවද කරන්නේ’ ඔහුගේ අවසාන නාට්‍යය විය. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ වාර්තා අනුව 1989 නොවැම්බර මාසයේ 18 වෙනිදා එම නාට්‍යයේ පිටපතක් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය පතා ඉදිරිපත් විය. එම වාර්තාව අනුව ‘මේ කවුද මොනවද කරන්නේ’ එම මණ්ඩලයේ අවසර පතා ඉදිරිපත් වූ 3899 වන නාට්‍ය පිටපතයි. නාට්‍යය පිටපත ඉදිරිපත් කර නිෂ්පාදනයට අවසර පතා ඇත්තේ දෙහිවල කවුඩාන පාරේ අංක 6 නිවසේ පදිංචි එච්. ලක්ෂ්මන් පෙරේරා ය. නාට්‍ය පිටපත පරීක්ෂා කිරීමට පත් කෙරුණු තිදෙනෙකුගේ නම් එම වාර්තාවේ සඳහන් වේ.
ආර්. පල්ලේවෙල මයා
ඩී. ඩබ්ලිව්. අබේසිංහ මයා
ජී. පෙරිමාපනායගම් මිය.
1990 ජනාවාරි 01 වෙනිදා OC/0988 දරණ ගොණු අංකය අනුව පරීක්ෂකයන් තිදෙනාගේම අනුමැහිය නාට්‍ය පිටපතට හිමි වී ඇත. මෙකල ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වූයේ ආර්. පල්ලේවල ය.
ආර්. පල්ලේවෙල, ටයිම්ස් සමාගම යටතේ ‘ලංකාදීප’ පුවත්පත පළ කෙරෙද්දී එහි ජනමාධ්යකරුවෙකුව සිටියේය. පසුව නීතීඥ වෘත්තියට පිවිසුණේය. ජනමාධ්යකරුවෙකුව සිටිය දී ප්‍රේමදාසගේ බලවත් විවේචකයකු වූ පල්ලේවෙල පසුව ප්‍රේමදාසවාදියකු විය. 1989 ප්‍රේමදාස ජනාධිපතිවරයා වූ පසු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති පදවියට පල්ලේවෙල පත් කෙරුණි. ලක්ෂ්මන් පෙරේරාගේ නාට්‍ය පිටපත අනුමැතිය වෙනුවෙන් කෙරෙන විමර්ශනය සභාපතිවරයා යටතට ගැනීම ම බලවත් සැකයක් මතු කරයි. මේ වෙනුවෙන් සභාපතිවරයාට විශේෂ උනන්දුවක් ඇති වන්නට ඇත්තේ නාට්‍යයේ නම නිසා බවට සැක කළ හැකිය.
‘මේ කවුද මොනවද කරන්නේ’
යන පාඨය ලංකා දේශපාලනය තුලට ඇතුළුවන්නේ 1988 ඔක්තෝබරයේ දීය. ඒ, රණසිංහ ප්‍රේමදාස ස්වකීය ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමත් සමඟ රට පුරා එක රැයකින් තාප්ප හා බිත්ති සැරසුණේ මේ පාඨය ඇතුලත් පොස්ටරයකිනි. ඩිමයි කඩදාසියක රතු පාටින් පින්සලයකින් පොස්ටරයක් සේ පෙණුනත් සැබවින්ම එය මුද්‍රිත පෝස්ටරයක් විය. එකවර ජනසමාජයේ අවධානයට ලක් වූ මේ පෝස්ටරයේ පාඨය නාට්‍යක නම වීම එය කියවීමට සභාපති පල්ලේවෙල පොළබවන්නට ඇත.
ලක්ෂමන් පෙරේරාගේ නාට්‍යට ජනාධිපති ප්‍රේමදාසගේ අවධානය යොමු කරන්නට ඇත්තේ පල්ලේවෙල විය යුතුය. එතන් පටන් මෙම නාට්‍යයේ පුහුණුවීම් කටයුතු පවා රහස් පොලීසියේ විමර්ෂණයන්ට ලක් වූ බවත් ලක්ෂමන් පෙරේරා කීප වතාවක් දෙහිවල පොලීසියට කැඳවූ බවත් ඔහුගේ දෙටු නැඟෙණිය වන සුජාතා පෙරේරා පටිගත කෙරුණු සාකච්චාවක දී මට කීවාය. ලක්ෂ්මන් පෙරේරාගේ පවුලේ ඥාතීන් මට කී තොරතුරු අනුව නාට්‍යයේ මංගල දර්ශනය පැවැත්වෙන දිනයේ අළුයම ඔහු පැහැර ගත්තේ මේ ආකාරයට ය.
‘මේ කවුද මොනවද කරන්නේ’ නාට්‍ය පිටපතේ සම රචකයා වූයේ රිචඩ් ද සොයිසා ය. එහෙත් රිචඩ්ගේ නම කොතැනකවත් සඳහන් නොකෙරුණි. 1990 ජනවාරි අග නාට්‍යයේ පුහුණු කිරීම් සියල්ලම අවසන් වී තිබුණි. එහි මංගල දර්ශනය දෙහිවල, ඇස්. ද ඇස්. ජයසිංහ ශාලාවේ පෙන්වීමට නියමිත වූයේ 1990 ජනවාරි 27 වෙනිදාය. මංගල දර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලැබ සිටියේ කෘෂිකර්ම ඇමැති ලලිත් ඇතුලත්මුදලි ය. තමාට වෙනත් කටයුත්තක් නිසා මංගල දර්ශනයට ඒමට නොහැකිවන බව ලලිත් ලක්ෂ්මන්ට දන්වා තිබුණේය. එහෙත් මේ වන විටත් රහස් පොලීසිය නාට්‍යය ගැන තොරතුරු රැස්කරමින් සිටින බව හිටපු ජාතික ආරක්ෂක ඇමැති හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වූ ලලිත් දැන සිටින්නට ඇත.
නාට්‍යයේ වැඩකටයුතු නිසා ලක්ෂමන් මෙකල නැවති සිටියේ දෙහිවල දුම්රිය පොල ආසන්නයේ පිහිටි සුජාතා පෙරේරාගේ නිවසේ ය. එය දුම්රිය නිල නිවාසයකි.
ජනවාරි 27 වෙනිදා අලුයම 01.00 පමණ සුදු වැන් රියකින් පැමිණි අවිගත් පොලිස් නිල ඇදුමෙන් සිටි කණ්ඩායමක් සුජාතා පෙරෙරාගේ නිවසට කඩා වැදුණෝ ය. ඔවුහු කිසිදු හේතුවක් නොකියා ගෙදර පහත මාලයේ නිදාගෙන සිටි සුජාතාගේ සැමියා පැහැර ගෙන ගියහ.
මෙසේ පැහැරගත් ලියනගේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන ලක්ෂමන්ගේ පෙරේරාගේ මස්සිනා බව පොලිස් කණ්ඩායම අවබොධ කර ගත්තේ මඟක් දුර යද්දීය. ඔවුහු ලියනගේත් කැටුව ආපසු නිවසට පැමිණ උඩුමහලේ නිදා සිටි ලක්ෂමන් පෙරේරා පැහැර ගත්හ.
පාරම්පරිකවම එජාප පාක්ෂිකයන් වූ ලක්ෂමන්ගේ පවුලේ උදවිය මේ බව රටේ ද නායකයන් වී සිටි එජාපයේ නායකයන්ට කීව ද ඔවුන් කිසිවෙකුටත් ඒ වෙනුවෙන් උපකාර කිරීමට තරම් හයියක් නොතිබුණි. ඔවුන්ගේ පොදු පිළිතුර වූයේ පොලීසිය ඉතා ඉක්මනින් ලක්ෂමන් පෙරේරා ආපසු එවනු ඇති බවය. ලක්ෂ්මන් පැහැර ගෙන සති තුනක් ගෙවෙද්දී එනම් 1990 පෙබරවාරි 18 වෙනිදා නාට්‍යයේ සම පිටපත් රචකයා වූ රිචඩ් ද සොයිසා ආයුධ ගත් පොලිස් කණ්ඩායමක් පැහැර ගන්නා ලදී. ලක්ෂ්මන් පෙරේරා හෝ ඔහුගේ මළ සිරුරවත් කිසිදාක හමු නූනේය. එහෙත් මරා දැමු රිචඩ් සොයිසාගේ මළ සිරුර මොරටුව කොරලවැල්ලේ වෙරළට ගොඩ ගසා තිබිය දී හමු විය.
1990 මාර්තුවේ රිචඩ් ද සොයිසා පැහැර ගෙන මරා දැමීම අපේ හිස මානා තිබූ අසිපතක් මෙන් අප බියගන්වමින් තිබුණේ ය.
නන්දන වීරරත්න
24/06/26
‘ජනපතියෙකු ඝාතනය කරන්නේ කෙසේ ද? [How to kill a President ?] නොපළ කෘතියෙනි.
පිංතුර; ෆෙඩ්රිකෝ ගාසියා ලෝකා
රිචඩ් ද සොයිසා




සජිත් ප්‍රේමදාස ට ලැජ්ජාවක් කියා දෙයක් ගෑවිලා වත් තිබේ නම්, රිචඩ් ද සොයිසා මහතා, ලක්ෂ්මන් පෙරේරා මහතා වැනි නාට්‍යකරුවන්ද ඇතුලු මල් වට්ටි මාරයා විසින් මරවා දැමූ දහස් ගනන් ජීවිත ගැන අබමල් රේණුවක තරම් වත් සහකම්පනයක් තිබේ නම්, දේශපාලන ක්ෂේත්රයට පැමින "රණසිංහ ප්‍රේමදාස මගේ පියානෝ" ගගා හිස් පුරසාරම් දොඩවනවා නොව රටේ නායකයා වෙන්නට අරඅඳින මහජන නියෝජිතයෙක් නොව, ගමේ මරණාධාර සමිතියක තනතුරක් ඉල්ලන්නට හෝ තැත් නොකොට, දේශපාලනයෙන් මුලුමනින්ම ඉවත් විය යුතුයි!
පියා කල වරදට දරුවන් පලි නැතැයි කෙනෙක් කියන්නට පුළුවන්.
ඒත්, මේ කිසිවක් නොවුනාක් මෙන් "මහජන සේවයට කැප වන" පුතානෝ ගැන පමනක් නොව, ආර්. ප්‍රේමදාස ගේ මේ කුරිරු ගති මෙන්ම දූෂිත පාලනය ගැනද දැන දැනත්, ඔහුගේ පුතාව විශ්වාස කරන්නට පෙළඹෙන චන්දදායකයන් ගැනත්, මට නම් ඇත්තේ විශාල පුදුමයකි.
රිචඩ් ද සොයිසා මහතා ගේ ඝාතනය සහ ඔහුගේ මව ඒ සියල්ල දරාගත් අයුරු දක්වන අශෝක හඳගම මහතා නිම කල "රාණි" චිත්‍රපටය සිහිවේ.
රිචඩ් මරා දමන අවදියේ දේශපාලන ලෝකයේ සිය ගමනේ මුල් අදියරේ සිටි මහින්ද රාජපක්ෂ එදා යූඑන්පිය විසින් මරා දැමූ තරුණ ජීවිත වෙනුවෙන්, දරුවන් අහිමි වූ මව් වරුන් සමග සිටගත් හැටි ඉහත සිනමා නිර්මාණයේ පෙන්වුවා මෙන්ම සැබෑ ලෝකය තුළද සිදු වූ බව අසා ඇත්තෙමි.
රිචඩ් ද සොයිසා ඇතුලු එවකට ජීවිත නැති වූවන් සහ ඔවුන්ගේ පවුල් වල අය ගේ දුක සිය දේශපාලන ගමනට අත්වැලක් කර ගත් ඒ රාජපක්ෂම, පසු කලක, සිය පවුල සහ සහෝදරයන් ඇතුලු තම -පුද්ගලික- උවමනාවන් වෙනුවෙන්, "මේ කවුද මොනවද කරන්නෙ?" නාට්‍යයට පදනම් වූ ඒ කුරිරු පාලකයා ගිය මග ම සෑහෙන දුරක් ගිය හැටි ඉතාමත්ම ඛේදජනක සරදමකි.
👍