[පිංතුරයේ මනුබන්දු විද්යාපතිට හා නන්දන වීරරත්නට රා බෙදන මෙන්ඩිස් අයියා - පිංතුරය ගත්තේ ප්‍රියන්ජන් සුරේශ් ද සිල්වා. පිංතුරය සුරැකිව තබා එව්වේ මනුබන්දු]
‘මුත්තා ඉංදියාවෙන් පැමිණියෙකි’ යන නිල උප්පැන්නය සිංහලයන්ට ලැබෙන්නේ ‘මහාවංශයෙන්’. මේ මහාවංශ ඉතිහාසය බාර නොගන්න ජන කණ්ඩායම් තුනක් සිංහලයන් අතරේම ඉන්නව. එය එළිපිටම අභිමානයෙන් කියන්නේ වැදි ජනයා පමණයි. එහෙත් ස්වකීය කුල ඉතිහාසය පරම්පරා කතා හැටියට පමණක් උගන්වන දේව වංශය [වහුම්පුර] හා බත්ගම වංශය [පදු] මේ ‘මහාවංශ උප්පැන්නය’ ප්‍රතික්ෂේප කරනව. මේ වංශ දෙකම කියන්නේ ඔවුන් ඉංදියානු සංක්‍රමණිකයන්[ආක්‍රමණිකයන්..?] ඒමට පෙර සිට රටේ ජීවත් වූ ස්වදේශික ගෝත්‍ර දෙකක් බවයි. බත්ගම වංශය විශ්වාස කරන්නේ ඔවුන් යක්ෂ ගෝත්රිකයන්ගෙන් පැවැතෙන වග. දේව වංශිකයන් කියන්නේ ඔවුන් දේව ගෝත්‍රයෙන් පැවතෙන බව. මේ උරුමය අරන් මම කියන්නේ මට කුලයක් නෑ. මගේ පරම්පරාව නාග ගෝත්‍රිකයන්. දැන් අපේ මාතෘකාවට යමු.
බ/අරවාකුඹුර විද්‍යාලයේ ළමුන් වැඩි දෙනෙක් රටේ ප්‍රධාන කුල දෙකක් නියෝජනය කරන බව මට පෙනුණ. ඒ උඩරට ගොවි වංශය හා දේව වංශය [ වහුම්පුර]. මීට අමතරව පාත රටින් හා සබරගමුවේ මුල් තිබූ පවුල් සුළු ප්‍රමාණයක් තිබුන. ඔවුන් නියොජනය කළේ ගොවි හා කරාව කුල. එහෙත් කුල අවමානයන්ට ගොදුරු වන්නේ ප්‍රධාන වශයෙන්ම දේව කුලයේ දරුවන් බව මට ඉක්මනින්ම අවබෝධ වුණා. ඔවුන්ට කුල අපහාස නාමයන් හැටියට “හකුරෝ” හා “කන්දයෝ” යන නාමයන් යොදා ගැනුනා. මම නිරන්තරයෙන්ම ගමේ ගෙවල්වල ඇවිදින්න යද්දී ඔවුන්ට ගොවි කුල නිවෙසවලට පිළිකන්නේන් [කුස්සිය පැත්තෙන්] ඇතුළුවීමට සිදුවීම හා කොට පුටු හෝ බංකුවල වාඩි වෙන්නට සිද්ධවෙන හැටිත් මම දුටුව.
මට මේ අලුත් දේවල් නොවුනත්, ඒ වන විටත් දකුණේ වෙරලබඩ ගම්වලින් මේ කුලවාදි චාරිත්‍ර හා හැසිරීම් අතුරුදහන් වෙමින් තිබුණේ. පසුගිය සියවසේ 70 දශකයේ දී අපි මේ වෙනස්කම් අකමකා දමන්න සක්‍රියව සහභාගි වෙලයි හිටියේ. එහෙත් මේ ඌවේ ගම්වල කුල වෙනස්කම් පමණක් නෙවෙයි, ‘කුල හණ’ කැපී පෙනෙන්න ඉතිරි වී තිබුණ. එයින් එකක් පිරිමි වැඩිහිටියන්ට තිබූ ස්ත්‍රී නාම දීම. මේ ප්‍රදේශවල සිටි උප්පැන්න ලියාපදිංචි කරන්නෝ [රෙජිස්ටාර්වරු] හිතාමතාම කුල වාසගම සහිතව ‘සමදරා’, ‘සිරියා’, වැනි නම් දමල.
අරවාකුඹුරේ පාසලට එන දේව ළමුන් වැඩි දෙනෙක් ආවේ උඩ කිරුවේ සිට. එය අති දුෂ්කර ගම්මානයක්. එකල එහි ගියේ ඇතුන් දැමුවාව කන්ද බඩගා නැඟීමෙන්. කිතුල් රා යහමින් තිබුණෙ උඩ කිරුවේ. මොන තරම් දුෂ්කර ගමනක් වුනත් බොහොමයක් හැන්දෑවල මට මේ ගමේ හිටිය සුප්‍රකට මදින්නා ‘මෙන්ඩිස් අයියා’ හමුවීම අමතක කරන්න නොහැකි වුණා. අපි දෙන්න බරපතල යාළුවො. එයාගෙ පුත්තු දෙන්නෙක් මගෙන් සමාජ අධ්‍යනය ඉගෙන ගන්නව. ඒ නිසාම යන හැම දවසකම ඉස්තරම්ම කිතුල් රා බෝතලයක් මට ලැබුණ, කට ගැස්මක් සමඟ.
කන්දයන් ගැන පමණක් නොවෙයි, මේ ගම්වල සිටි ‘නැකැති කුල’ [බෙරවාදන] ළමුන්ට සිදුවෙන් වෙනස්කම් මම දැසින්ම දුටුවා. මේ වෙනුවෙන් යමක් ලියන්න මම ‘රාවයෙන්’ දෙදෙනෙකුට එන්න කීව. ඒ අනුව මනු [මනුබන්දු විද්‍යාපති] ප්‍රියන්ජන් [සුරේෂ් ද සිල්වා] බස්වල එල්ලී රත්මලානෙන් අරවාකුඹුරට ආවා.
මම ‘කන්දයෝ’ ලිපිය ලියන්නත් මනු ‘නැකැතියෝ’ ලිපිය ලියන්න බෙදා ගත්ත. ප්‍රියන්ජන් පිංතුර ගත්ත. කන්දයෝ ලිපිය ලියද්දී මගේ විමර්ෂනයන්ට විශේෂයෙන් ලක් වුණේ ඔවුන් තුල පැවති විරැකියාව, දරිද්‍රතාව හා කුල වෙනස්කම් ළමුන්ට බලපාන ආකාරය. අනික ප්රවේණිගතව එන කුල අවමානයන්ට ලක්වීම වැඩිහිටියන්ගෙන් දරුවනට උරුම වීමේ සභාවය.
ඌව පළාතේ කුලගහනය අනුව එහි දෙවැනි විශාලතම කුලය ‘කන්දයන්’ වුවත් ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබීම මේ වෙනස්කම් සිදුවිමේ ප්‍රධාන හේතුව බව මට අවබොධ වුණා. මගේ දශක ගණනාවක නිරීක්ෂනය අනුව සිංහලයන්ගේ කුලගහනයෙන් කන්දයන් ද ඇතුලත් දේව වංශය ප්‍රමානයෙන් දෙවැනි වන්නේ ගොවි වංශයට පමනයි. එහෙත් ඔවුන්ගේ චන්ද ප්‍රතිශතයට ගැලපෙන්නට පාර්ලිමේන්තුවේ හා සෙසු මහජන නියෝජිත ආයතනවල නියෝජනයක් සිදු නොවීම අදටත් මට ගැටළුවක්.
‘උරුමය කරුමයක් වූ කන්දේ රජ දරුවෝ’ ලිපිය ඊට සතියකට පස්සේ ‘රාවයේ’ පිටු දෙකහමාරක් පුරවල මුද්‍රණය වුණා. ලිපියේ බලපෑම සති අන්තය වෙද්දීම ලැබුණ. කොළඹ මුල්ස්ථානය කර ගත් ‘තරුණ අභිවෘධි සංගමයේ’ නියෝජිතයන් මම හමුවෙන්න ආව. ඔවුන්ට මේ ගම්මානවල උපකාර කරන්න ඕන බව කීව. ලිවීමට නොසෑහෙන්න ස්තුති කළා. මම ඊලඟ සතියේ ආපහු අරවාකුඹුරට යන විටත් ඩී. එස්. අයි [ ප්‍රකට සපත්තු සමාගම] හා සේමගේ [ ප්‍රකට විදුරු සමාගම] යන ආයතනවල නියෝජිතයන් උඩකිරුවට ගිහින්. ඔවුන් විරැකියවෙන් පෙලෙන තරුණ කන්දයන්ගේ තොරතුරු එකතු කරගෙන ගිහින්. ඒ විතරක් නෙවෙයි සෙරෙප්පුවත් නැතුව කිලෝ මිටර කීපයක් කදු නැඟ බැස එන පාසල් දරුවන්ට සපත්තු පමණක් නෙවෙයි පාසල් උපකරණ ඉහත කී සංගමයේ නිලධාරී බෙදා දීල.
මම ‘ගුරු ලෝගුව’ අරවාකුඹුර ඉස්කෝලේ කොස් අතක එල්ලල කොළඹට එන තෙක්ම මෙන්ඩිස් අයියාගෙන්, මුදල් ගෙවා බීගත් ඉස්තරම්ම කිතුල් රා බෝතලය කවදාවත්ම වැරදුනේ නෑ. මගේ ලාභය එපමනයි.
[ ‘නුතන සිහලයන්ගේ කුල වෙනස්කම්’ හා ‘කුලය හා ප්රචන්ඩත්වය’ කෘතිවල පසුබිම් කතා]
නන්දන වීරරත්න
30/10/2023