කුමාරගම හා වන්නියේ සෝරත
විමලරත්න කුමාරගම [1919 – 1962] අවුරුදු 43 ජීවත් වුණේ. ඒත් ඔහු පහුගිය සියවසේ සිංහල කවියට කළ බලපැම අති විශාලයි. පහුගිය අවුරුදු 200 ඇතුලේ උඩරටින් බිහි වූ ශ්‍රේෂ්ඨතම කවියා කුමාරගම බවයි මගේ විශ්වාසය. පසුගිය සියවසට සාපේක්ෂවත් එය සත්‍යක් බවත් මට හැඟෙනවා. වෘත්තියේන් යටත් විජිත ආණ්ඩුවේ අධායම් පාලක නිලධාරියකු [CAS] වූවත් ඔහු තරම් අපේ ජන ජීවිතය ස්පර්ශ කළ වෙනත් කවියෙකු ඒ යුගයේ නැති තරම්. මහාචාර්ය සරත්චන්ද්‍රගේ ‘කල්පනාලෝකවාදී’ න්‍යාය හා පේරාදෙණි බලහත්කාරයේ බලවත්ම වින්දිතයකු වන්නේ කුමාරගමයි. 56 පෙරළියේ සංස්කෘතික බණ්ඩාරනායකගේ චරිතයට පණ පෙව්වේ සරත්චන්ද්‍රයි. මේ නිසා කුමරගම අපේ ජන මතකයෙන් හා රස වින්දනයෙන් ඈතට ගියා. මේ 1940 අග භාගයේ සිටි වන්නියේ සෝරත කුමාරගමට පෙණුනු සැටි. එය වර්තමානය සමඟ කිරා මැන බලන්න. මම උපුටා ගත්තේ කවි කීපයක් පමණයි. සම්පූර්ණ කවිපෙල අවශ්‍ය අය ඉන්බොක්සයට එන්න.
[සම්පූර්ණ කවි පෙළ සොයද්දී එහි මුල් කොටස සොයා දුන්නේ ආචාර්ය අමරසිරි වික්‍රමරත්න. සම්පූර්ණ කවිපෙළ සොයා දුන්නේ මහාචාර්ය රත්නසිරි අරංගල. දෙන්නටම බොහොම පිං.]
රජමහ විහාරයෙ පෙරදින බැඳ කේළී
අද ඇද වැටී බිම ඇත ගල් කණු පේළී
ඩා නැග තෙමුණ සිවුරේ ගාගෙන දූලී
නායක කමේ ඇත ‘සෝරත මුදලාලී’
විසි තිස් ගොදුරු ගම්වල පිරිස දායක
ආ විට දනෙහි අනුහස් බණකි පෝයක
පන්සිල් පවා නොරකින අපගෙ නායක
සමිඳුන් පුදයි වන්නියෙ අය්යනායක
ඇබිත්තියා කරවන ආවතේවය
යන එන තැනදි හිමිගේ පාද ගාව ය
හිමිටත් වැඩිය උගෙ සිල්වන්තබාවය
ඇති යයි ගොදුරු ගම්වල තිබුණු රාවය
ඇඳ පුටු මේස වංගෙඩි හදති හරවතී
පොල් මල්වලින් මව් කිරි රසය මුදවතී
සමිඳුගෙ පිහිට මුළු වන්නියට වැදගතී
කොල්ලෝ සීතලට කහ සිවුරු පොරවතී
අවසර නැති ව ගස් කපවන වඩුරා
පන්සල ළඟ ම සිට විකුණයි හොර හාල
සබන් පුයර බොල් මුතු පවලන් මාල
ඉඳහිට කඩෙන් ගෙන යයි කම්බා සේල
කැලයේ සොහොන් බිම රුක් මුල් ඇසුර සොයා
මේ හිමි වඩිති ඉඳහිට සිල් රකින නියා
සෝවන් වෙතැයි අඹු හිමි බිය සිතෙහි තියා
දවසක් සමිඳු සොයනට පොලු මුගුරු ගියා
පුලා වෙදාගේ කෙල්ලට ලෙල්ල රත
ගෙයක් දෙන්ට තැත් කළ හැටි මතක ඇත
නැඟ ආ ඒ ගෙදර පන්සල් ඉඩම මත
ඉවර ද කියා තව ආරංචියක් නැත
නන්දන වීරරත්න
15/06/26



වටිනා සටහනක්, ස්තුතියි, නන්දන දැණුමින් සහ රසයෙන් අපව පෝෂණය කලාට.
විමලරත්න කුමාරගම කිවිඳුන් ගේ කවි මෙතෙක් කියවා තිබුනේ සිංහල පෙල පොතේ තිබී හයේ හෝ හතේ පන්තියේ සිංහල පාඩමේදී රස විඳි "ආගන්තුක සත්කාරය" ( 'ගං තුන තුලානේ අලියා වැටුන වැවේ සුන්දර හාමි එතරම් පොහොසතෙකු නොවේ...') පැදි පෙළත්, පසු කලක කියවන්නට ලැබුන "අයියනායක" නම් කවි පෙලත් පමනයි.
කලා විද්‍යා වානිජ යනාදී වශයෙන් දෘඩ බෙදීම් වලට ලක් කරන ලද පාසැල් අධ්‍යාපන පද්ධතියක් තුල, අපේ රටේ වටිනා කලා නිර්මාණ බොහෝ දෙනෙක්ට රස වින්දනයට තබා එවැනි නිර්මාණ තිබුනාද කියා වත් නොදන්නා තත්වයක සිටින බවට මාද එක් සාක්ෂියකි. මේ කවි පෙළ කියවන්නට හැකි වුනේ වීරරත්න මහතා ගේ පාඨකයෙක් වූ නිසා පමණි. ඒ ගැන පලමුව ඔබට ඉතාම ස්තූතියි.
අද ජීවිතයේ මුල් වරට කියවූ මේ කවි පෙළ කියවන විට සිත කිලි පොලයි. සඟ සසුන -මේ අන්දමට- "බැබළවූ" "සංඝ පීතෘ වරයනාන් වහන්සේලා" මේ මෑත ඉතිහාසයේ ඇති වූ විවෘත ආර්ථිකය වැනි සමාජ පෙරලි නිසා මෑත කාලයේ ඇති වුන සමාජ පිළිල නොව... අනාදිමත් කාලයක පටන් පැවතී ඇති බව සිතන විට දැඩි කලකිරීමක් දැනේ.
ඔබ තෝරා ගෙන ඇති එක් එක් කවි වලට අද සංග සමාජයෙන් සොයා ගත හැකි, අප කවුරුත් අසන දකින (සමහරුන් විසින් වඳින පුදන) නිදසුන් සිහි වෙයි.
කුමාරගම කිවිඳුන් අද සිටියා නම්...ගොදුරු ගම්මාන වලින් නොයෙක් ආකාරයේ ගොදුරු ගන්නා නොයෙක් ආකාරයේ ඒ සංග මුදලාලිලා ගැන මොන මොන විදියේ කවි එතුමන්ටම ආවේනික වූ ඒ සරල සුගම බස් වහරෙන් ලියනු ඇති දැයි සිතේ.
"...සමිදුගෙ පිහිට මුළු වන්නියට වැද ගතී
කොල්ලෝ සීතලට කහ සිවුරු පෙරවතී."
එදා වන්නියේ සමහර ගැමි දරුවන්
- සීතලට කහ සිවුරු පෙරවුවේ - කටු මැටියෙන් තැනුන ඔවුන්ගේම ගෙවල් තුලදී ද? ඒ නිතර එහි යන එන අයෙක් ඒ ගෙවල් වල තමාගේ කහ සිවුරු තබා ගිහින් නිසාද?
නැතිනම් මේ කියන්නේ දරිද්‍රතාවය නිසාම කුඩා කල සිටම පැවිදි වී කහ සිවුර පොරවා ගන්නට සිදු වූ අහිංසක දරුවන් ගැනද?
කවියා මෙහිදී පවසන අදහස නිවැරදිව තේරුම් ගන්නට තරම් තම මව්බස ගැන දැනුමක් මට නැති වීම කණගාටුවකි.
කෙසේ වෙතත්, ඒ අර්ථයන් දෙකෙන්ම කියැවෙන සමාජ අහේනිය මොන තරම් ශෝචනීයද!
ඊට අමතරව අද දවසේ මේ රටේ සඟ සසුන "බබළවන" සමහර මහනුන් කහ සිවුරු පෙරවන්නේ බුද්ධ දර්ශනය සහ බුදු රදුන් දේශනා කරන ලද අනන්ත යහ ගුණ තමන්ට සිව්පසයෙන් සලකන බැතිමතුන්ට කියා දෙන්නට නොවේ. ඔවුන් ගැන සිතන විට කුමාරගම කිවිඳුන් ගේ ඉහත කවියට තවත් අර්ථයක් ලැබේ. එනම් එවැනි මහනුන් නම් කහ සිවුරු පෙරවන්නේ හුදෙක් සීතලටම පමනක් බවයි.
මේ කරුණු ගැන විචාරාත්මකව සිතන්නට පොලඹවමින් ඔබ කරන මේ සමාජ මෙහෙවරට වීරරත්න මහත්මයා, ඔබට නැවතත් බොහොම ස්තූතියි!